POSTED ON Wednesday, August 28, 2013| | Edit Post
ආහාර බලධාරියා විසින් එක් අවස්ථාවක ඩී.සී.ඩී. ඇති බවත්, තවත් අවස්ථාවක ඩී.සී.ඩී. නැති බවත් පවසා ඇති බැවින් කළ යුතු සුදුසුම දේ දේශීය කිරි ගොවියා විදේශීය සමාගම්වල වහලෙක් නොකර අපේ රට කිරියෙන් ස්වයංපෝෂිත කිරීම බව ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති. 

ඩී.සි.ඩී ගැටලුව සම්බන්ධයෙන් උන්වහන්සේ විසින් නිකුත් කළ මාධ්‍ය ‍නිවේදනයක දැක්වෙන්නේ ජනතාව නොමඟ යැවූ ෆොන්ටේරා සමාගමට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගත යුතු බවයි. 

එකී නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය. 

නවසීලන්තයේ ආනයනය කරන කිරිපිටිවලට කෘතිම රසායනිකයක් වූ ඩී.සී.ඩී. (DCD) එක්වීම හා කිරිවලින් ඉවත් කර ගන්නා ප්‍රෝටීන පදාර්ථවලට බැක්ටීරියාවක් මුසුවීම යනාදිය නිසා ඇති වූ පාරිභෝගික අවුල තවමත් විසඳී නැත. 

ආහාර බලධාරියා විසින් එක් අවස්ථාවක ඩී.සී.ඩී. ඇති බව ප‍්‍රකාශ කිරීමත්, තවත් අවස්ථාවක ඩී.සී.ඩී. නැති බව ප‍්‍රකාශ කිරීමත්, තම නිෂ්පාදනවල ඩී.සී.ඩී.. කිසිසේත් අඩංගු නොවන බව ෆොන්ටේරා සමාගම සහතික කර ප‍්‍රකාශ කිරීමත් නිසා මේ අවුල ඇති වී තිබේ. 

තව ද ඩී.සී.ඩී. මිනිස් සෞඛ්‍යයට අහිතකර නොවන බවට ෆොන්ටේරා සමාගම සිදුකරන ප‍්‍රචාරයන් ද ජනතාව තවත් අවුලට දමා තිබේ. 

කවුරුත් දන්නා පරිදි ඩී.සී.ඩී. නොහොත් ඩයිසයිනඩයිමයිඩ් කෘතිම නයිටේ‍්‍රට් සංයෝගයකි. එහි එක් අනුවක් මාරක විෂක් වූ සයනයිඩ්ය. ඩී.සී.ඩී. වලට සී අක්ෂරය ලැබී ඇත්තේ එයිනි. 

සයනයිඩ් විෂ සංස්කෘතියක් සහිත ලංකාවට සයනයිඩ්වල වස විස තීරණය කිරීමට විශේෂඥ සහාය හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය අවශ්‍ය නැත. 

එමෙන්ම ඩී.සී.ඩී. අනු දෙකක් එක්කර තැනූ මෙලමයින් රසායනය කිරිපිටිවලට යෙදීමෙන් 2008 දී චීනයේ ළඳරු මරණ වාර්තා විය. මේ නිසා ඩී.සී.ඩී. විෂ ද, නැති ද කියමින් තර්ක කිරීමෙන් ඵලක් නැත. 

අපේ දරුවනට හා වැඩිහිටියනට ඩී.සී.ඩී. නොමැති කිරි ලබා දීම අදාළ බලධාරීන්ගේ වගකීමකි. ඒ සඳහා වන පරීක්ෂණ සඳහා අපේ දරුවන් යොදා ගැනීම මානවවාදයට කරනා අපරාධයකි. 

නවසීලන්තය කියන්නේ ඩී.සී.ඩී. පොහොර පසට දැමූයේ ගව මුත‍්‍රාවල ඇති නයිට‍්‍රජන් ජලයට, වායුගෝලයට එක්වීම වැළැක්වීමට බවය. 

තවත් විශේෂඥයින් කියන්නේ ඩී.සී.ඩී. කිරිපිටිවලට කළවම් කර ඇත්තේ එහි ඉවත් කරන ලද ප්‍රෝටීන් ප‍්‍රතිශත පවත්වා ගැනීමේ කූට උපක‍්‍රමයක් ලෙස බවය. මෙලමයින් යොදා ගත්තේ ඒ සඳහාය. 

කෙසේ වෙතත්, ඩී.සී.ඩී. කෘතිම රසායනය මිනිස් ආහාරයට එක්වීමේ වගකීම ෆොන්ටේරා සමාගම භාර ගත යුතුය. 

තම නිෂ්පාදනවල ඩී.සී.ඩී. අඩංගු නැති බවට ෆොන්ටේරා සමාගම කියන්නේ අමූලික බොරුවකි. නවසීලන්තය විසින් පවත්වන ලද සමීක්ෂණයකින් පෙනී ගොස් ඇත්තේ 2012 දෙසැම්බර් මස දක්වා කිරිවල ඩී.සී.ඩී. අඩංගුව පැවැති බවය. 

ඩී.සී.ඩී. නොමැති කිරි නවසීලන්තයෙන් නිශ්චිතව ලැබී ඇත්තේ 2013 ජුනි 01 දා සිටය. අලුතින් ආනයනය කළ කිරිපිටි (ජුනි මසින් පසු) හැරුණු විට දැනට වෙළෙඳපොළේ ඇති ෆොන්ටේරා කිරිපිටි වර්ගවල ඒ නිසා ඩී.සී.ඩී. අඩංගු වීමට බොහෝදුරට ඉඩ ඇත. 

සෞඛ්‍ය බලධාරීන් ඒ නිසා ජුනි මසින් පසු ආනයනය කළ තොග හැර සෙසු පැරැණි තොග වෙළෙඳපොළින් ඉවත් කර විනාශ කළ යුතු අතර, ජනතාව නොමඟ යැවූ ෆොන්ටේරා සමාගමට නීතිමය ක‍්‍රියාමාර්ග ගත යුතුය. 

මෙහිදී තවත් ප‍්‍රශ්න කීපයක් මතු වේ. ඩී.සී.ඩී. ඇති බව දැන නවසීලන්තය ඩී.සී.ඩී. යෙදීම නතර කර ඇත්තේ 2012 සැප්තැම්බර් මසය. ඒ බව ආහාර බලධාරියා නොදැන සිටියේ ඇයි? 

තම කිරිපිටිවලට ඩී.සී.ඩී. මුසු වී ඇති බවට 2013 ජනවාරි මස නවසීලන්ත ආණ්ඩුව සිය වෙබ් අඩවියේ ඵලකළේය. එය ලංකාවේ කෘෂිකර්ම ඇමැතිවරයා පුනරුච්චාරණය කළේය. 

ආහාර පාලකතුමා ඒ ගැන සිය අවධානය යොමු නොකළේ ඇයි? එමෙන්ම මේ පිළිබඳ ක‍්‍රියාත්මක වූ පාරිභෝගික අධිකාරිය සිංගප්පූරුවේ දී පරීක්ෂා කර 2013 අපේ‍්‍රල් මාසයේ දී නවසීලන්ත කිරිපිටිවල ඩී.සී.ඩී. අඩංගු බව ප‍්‍රකාශ කළේය. 

ඒ පිළිබඳව ආහාර පාලක ක‍්‍රියා නොකළේ ඇයි? අවසානයේ 2013 ජුලි වල ඩී.සී.ඩී. නැති බව තහවුරු වූ විට පමණක් පරීක්ෂණ පැවැත්වූයේ ඇයි.? 

ප‍්‍රශ්නය යට ගැසීමට ෆොන්ටේරා සමාගමට අඩුම තරමින් මාස 06ක් ආහාර බලධාරියා ඉඩ දී තිබේ. ඒ අතර කාලය තුළ ඩී.සී.ඩී. අඩංගු කිරිපිටි ටොන් දස දහස් ගණනක් පාරිභෝගිකයාට නිකුත් කර තිබේ. මෙයට ආහාර පිළිබඳ ජනරාල්වරයා වගකිව යුතුය. 

එමෙන්ම ෆොන්ටේරා සමාගමේ අනුග‍්‍රහයන් සිය පුද්ගලික උත්සවවලට ලබාගත් සෞඛ්‍ය බලධාරීන් පිළිබඳව ද වාර්තා වී ඇති අතර, ඒ පිළිබඳ වහාම විනය ක‍්‍රියාමාර්ගයක් ආණ්ඩුව ගත යුතුව ඇත. 

රට තුළ කෘතිම කිරිපිටි හිඟයක් ඇතිකරලීමත්, කිරි ගොවීන්ගේ නිෂ්පාදන මිල දී ගැනීම වැළැක්වීමෙන් රට තුළ අර්බුදයක් ඇති කිරීමත්, සඳහා ෆොන්ටේරා සමාගම සිය නිෂ්පාදන නතර කර ඇත. 

අපි මේ තර්ජනය රටට ආශිර්වාදයක් කර ගත යුතුය. දේශීය කිරි ගොවියා විදේශීය සමාගම්වල වහලෙක් නොකර අපේ රටේ නිෂ්පාදනය සඳහා ඔහුගේ හැකියාව යොදා ගෙන රට කිරියෙන් ස්වයංපෝෂිත කිරීමට මෙය යොදා ගත යුතුය. 

එමෙන්ම ව්‍යාජ තොරතුරු ලබාදීමෙන් කාන්තාවන්, දරුවන් බිය කර සිය නිෂ්පාදන අළෙවි කරනා වෙළෙඳ දැන්වීම්වලින් ඇති කරනා කෘතිම වෙළෙඳපොළ බිඳ දැමිය යුතුය. 

ඒ සඳහා ආණ්ඩුව දේශපේ‍්‍රමීව, නිර්භයව කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. 

ඕමල්පේ සෝභිත හිමි

නායක ජාතික හෙළ උරුමය 

උපුටා ගෑනීම -  http://sinhala.adaderana.lk/news.php?nid=36961

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews