POSTED ON Wednesday, August 7, 2013| | Edit Post
ලොව ප්‍රකට සිනමාකරුවකු වූ ඩේවිඩ් ලීන් ගේ ridge on the River kwai (බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි) චිත්‍රපටය වෙනුවෙන් 1957 වසරේ ලංකාවේ සිදුකළ රූගත කිරීම් සඳහා ඉමහත් කාර්යය භාරයක් ඉටු කර ඉන් අනතුරුව ජාත්‍යන්තර සිනමා කර්මාන්තයේ නිරත වූ ‘චන්ද්‍රන්රත්නම්’ සිය නවතම සිනමා අධ්‍යක්ෂණය වන ‘කොමන් මෑන්’ චිත්‍රපටය වෙනුවෙන් ‘මැඩ්රිඩ්’ සිනමා උළෙලේදී සම්මාන රැසක් හිමි කර ගත්තේය.

ප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පීන් දෙදෙනකු වන ශ්‍රීමත් බෙන් කිංස්ලි හා බෙන් ක්‍රොස් මෙම චිත්‍රපටය වෙනුවෙන් විශිෂ්ට රංගන ප්‍රතිභාවක නිරතවන්නේ චන්ද්‍රන්රත්නම්ගේ අධ්‍යක්ෂණය යටතේය. එමෙන්ම මේ දිනවල ඔහු ජාත්‍යන්තර ප්‍රේක්ෂක ප්‍රජාව ඉලක්ක කරගනිමින් එකෝඩින් ටු මැතිව්ස් නමින් තවත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට පියවර ගෙන තිබේ.

ඔබ අධ්‍යක්ෂණය කළ ‘කොමන් මෑන්’ චිත්‍රපටය ‘මැඩ්රිඩ්’ ජාත්‍යන්තර සිනමා උළෙලේදී සම්මාන 3ක් දිනා ගත්තා නේද?

ඔව්. කොමන් මෑන් චිත්‍රපටය හොඳම චිත්‍රපටය ‘හොඳම නළුවාට’ හොඳම සහාය නළුවාට සහ හොඳම සිනමා අධ්‍යක්ෂණයට යන සම්මාන වෙනුවෙන් නිර්දේශිත වී ඇති බව එම සම්මාන උළෙලට පෙර අපට දැන ගැනීමට ලැබුණා. ලංකාව වැනි පුංචි රටකට අත්වන්නට යන කීර්තිය පිළිබඳ සියුම් ආඩම්බරයකින් මගේ සිත පිරී ගියා. ඒත් අවසන් මොහොත වනතුරුමත් එම සම්මාන අපගේ චිත්‍රපටයට නිසැකයෙන්ම ලැබේවි. ඒත් එම සම්මාන උළෙලේදී මගේ චිත්‍රපටයට එම සම්මාන ලැබී ඇතැයි දැන ගැනීමට ලැබෙන විට මට අදහා ගැනීමට පවා නොහැකි වුණා.

ශ්‍රීමත් බෙන් කිංස්ලි සහ බෙන් ක්‍රොස් වැනි හොලිවුඩ් තිරයේ දැවැන්ත තාරකාවන් ඔබගේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙනුවෙන් සම්බන්ධ කරවා ගැනීම අභියෝගයක් වුණාද?

නැහැ. මට ඒ පිළිබඳ කිසිදු අභියෝගයක් හෝ ගැටලුවක් එල්ල වූයේ නැහැ. මෙහි ප්‍රධාන චරිත වෙනුවෙන් දායක වන ශ්‍රීමත් බෙන් කිංස්ලි මෙම තිර පිටපත කියවා බැලීමෙන් පසු ඒ පිළිබඳ ඉතාමත් සෑහීමට පත් වුණා. ඔහු වගේම බෙන් කේ‍රාසුත් මෙහි රංගනයෙන් දායක වීමට ඉතාමත් කැමැත්තෙන් ඉදිරිපත් වුණා.
කොමන් මෑන් චිත්‍රපටයට ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණ ප්‍රතිචාර කෙසේද? ඒ වගේම මෙය මෙරට ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තිරගත වන්නේ කවදාද?

ඇත්තෙන්ම මෙම චිත්‍රපටයට මා හිතුවාටත් වඩා ජාත්‍යන්තර ප්‍රේක්ෂක ප්‍රජාවගේ ප්‍රතිචාර හිමි වුණා. ඒ වගේම එම චිත්‍රපටය මෙම වසරේ අගෝස්තු මස සිට බම්බලපිටිය ‘මැජෙස්ටික්’ සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කරවීමටත් අප කටයුතු යොදා තිබෙනවා.

ජාත්‍යන්තර ප්‍රේක්ෂක ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ඉදිරියටත් මෙවැනි දැවැන්ත චිත්‍රපට නිර්මාණය කිරීමට ඔබ සූදානම්ද?

ඔව්. එපමණක් නෙවෙයි. සිංහල චිත්‍රපට නිෂ්පාදනය කිරීමටත් මා සූදානම්ව සිටිනවා. ඒ අනුව මා මේ දිනවල අධ්‍යක්ෂණය කරමින් පවතින ‘එකෝඩින් ටු මැතිව්ස්’ චිත්‍රපටයට පසුව ‘සරදියෙල්’ නමින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමටත් මා බලාපොරොත්තුව සිටිනවා. එහි තිර පිටපත පවා මා මේ දිනවලදී ලියා අවසන් කළා.

ඔබ මේ දිනවල අධ්‍යක්ෂණය කරමින් පවතින ‘එකෝඩියන් ටු මැතිව්ස්’ චිත්‍රපටය පිළිබඳ යමක් පැවසුවහොත්?

ඔව්. එම චිත්‍රපටයට පාදක වන්නේ මෙයට දශක 3කට පමණ පෙරාතුව ලංකාවේ සිටි කතෝලික පූජකවරයකු පිළිබඳ වූ සත්‍ය සිදුවීම් මාලාවක්. මෙම කතාවේ ඇති අනුවේදනීය බව නිසාම එය ඉතාමත් සිනමාරූපී ලෙස චිත්‍රපටයකට නැඟිය හැකි බව මට හැඟී ගියා. ඒ වගේම මෙහි තිර පිටපත ලිවීම සඳහා මා සම්පූර්ණ වශයෙන් පාදක කර ගත්තේ උසාවි වාර්තාවන් සහ මේ පිළිබඳ ලබා දී ඇති නඩු තීන්දු මතයි. ඒ වගේම මැතිව්ස් නමැති එම පූජකවරයා එකල ඇසුරු කළ පුද්ගලයන් මෙන්ම ඔහුගේ පෞද්ගලික තොරතුරු පවා හොඳින්ම දන්නා පෞද්ගලයන් අදටත් ජීවතුන් අතර සිටිනවා. මට මෙහි තිර පිටපත ගොඩ නැඟීම වෙනුවෙන් ඔවුන්ගෙන්ද විශාල සහයෝගයක් ලැබුණා.

80 දශකයෙන් පසු ලංකාවේ සිනමා කර්මාන්තය කඩා වැටුණු බව ඇතැම් ප්‍රවීණ සිනමාවේදීන් පැවසුවත් ඔබ දරන්නේ ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ මතයක්

ඔව් මම ලංකාවේ සිනමා කර්මාන්තය කඩා වැටී ඇති බව කවදාවත් විශ්වාස කළ අයෙක් නොවෙයි. ඒ වගේ හිතන්නට ගියොත් අද ලංකාවේ ඇති අනෙකුත් ව්‍යාපාරත් කඩා වැටී ඇති බව ඔබට හිතේවි. අප සිනමාවට අවතීර්ණ වූ යුගයේ රංගනයට දක්ෂතාවන් දැක්වූ බොහෝ තරුණ පිරිස් හිටියත් ඔවුන්ට තම කුසලතාවන් එළිදැක්වීමට අවස්ථාවක් උදා වුණේ නැහැ. එයට හේතුව එකල පවා චිත්‍රපටයක් නිපදවීමට භාවිත කරන දළ සේයා පටලවල මිල ගණන් ඉතා අධික වීමයි. නමුත් අද තිබෙන ඩිජිටල් තාක්ෂණයත් සමඟින් චිත්‍රපටයක් කිරීමේදී දළ සේයා පට අපතේ යෑමක් සිදුවන්නේ නැහැ. මේ හා සමඟින් විශාල තරුණ පිරිසකට තම හැකියාවන් විදහා දැක්වීමට අවස්ථාව උදාවෙලා. එනිසා විශේෂයෙන් පැවැසිය යුත්තේ සිනමාවේ ස්වර්ණමය යුගය උදා වී ඇත්තේ දැන් බවයි.



ඔබ ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපට වෙනුවෙන් හොලිවුඩ් තාරකාවන් යොදා ගැනීමට අදහස් කරනවාද?

ඇත්ත වශයෙන්ම ඔව්. මා ඉදිරියටත් අධ්‍යක්ෂණය කිරීමට බලාපොරොත්තු වන චිත්‍රපටවල තිර පිටපතට අනුකූල වන අයුරින් අදාළ චරිත සඳහා සුදුසු හොලිවුඩ් නළු නිළියන් යෙදවීමට අදහස් කරනවා. අපගේ චිත්‍රපටයන් විදේශ වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් නිෂ්පාදනය වන බැවින් එම වෙළෙඳපොළ ජය ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. මෙහිදී හොලිවුඩ් නළුවෙක් හෝ නිළියක් අපගේ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් කරනවා නම් එය අපට ලොකු ශක්තියක් වනවා. මා ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වීමට කැමැති හොලිවුඩ් නළු නිළියන් ගණනාවක් සිටිනවා. ජේම්ස් බොන්ඩ් චිත්‍රපට තුළින් ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ ‘පියර්ස් බ්‍රොස්නන්’ පවා ලබන වසර තුළ මගේ චිත්‍රපටයක රංගනයෙන් දායක වීමට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

mawbima

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews