POSTED ON Saturday, August 3, 2013| | Edit Post
ඔබ මෝටර් සයිකල් පදවන අයෙක් ද? එසේ නම් ඔබට මෝටර් සයිකලය පණ ගන්වා ගමන් ආරම්භ කරන විට එහි රඳවනය (Stand) හැකිළීමට අමතක වූ අවස්ථා ඕනෑ තරම් තිබෙන්නට ඇති බව නොඅනුමාන ය. එසේ ම අප මාර්ගයේ ගමන් කරන විට යතුරුපැදි රඳවනය හකුළා ගන්නට අමතක ව, අනාරක්ෂිත ව ගමන් කරන මෝටර් සයිකල් ඕනෑ තරම් දැකිය හැකි ය.

මෙහි ඇති අවදානම දෙස අපේ රටේ තරුණයෙක් තීක්ෂණ බුද්ධියෙන් යුතු ව විමසා බලන්නට විය. ඔහු 22 හැවිරිදි වියේ පසු වන මධුරංග කරුණාජීව යි. ඔහු ඊට විසඳුම කුමක් දැ යි තනි ව කල්පනා කළේ ය; පුවත්පත්, අන්තර්ජාලය ඔස්සේ කරුණු සොයා බැලී ය.

ඒ පිළිබඳ ව ඔහු මෙසේ හඬ අවදි කළේ ය. ”මා මුලින් ම මේකට ලෝකයේ ඇති විසඳුම් මොනව ද තියෙන්නේ කියලා සෙව්වා. එතකොට මට මේ වෙනුවෙන් නිපදවා ඇති විවිධ උපකරණ රාශියක් හමු වූණා. ඒවාට එන්ජිම, හයිඩ්‍රෝලික්, විවිධ මෝටර් ඉලෙක්ටොනික් ස්විච ආදිය භාවිත කර තිබුණා. එහෙත් ඒවා ඉතා සංකිර්ණ මෙන් ම අධික වියදමක් යන ක‍්‍රියාවලියක් නිසා ප‍්‍රායෝගික ව භාවිත කර තිබුණේ ප‍්‍රධාන පැලැන්තියේ යතුරුපැදි සඳහා පමණ යි”.

මධුරංග මේ ගැන කරුණු සොයන අතරේ ම එහි ප‍්‍රායෝගික භාවිතය සහ එවැනි උපකරණක අවශ්‍යතාව පිළිබඳ ව සයිකල් පදවන අය ව සම්බන්ධ කර ගෙන සමීක්ෂණයක් කරන්නට තීරණය කළේ ය. ඔහුගේ එම සමීක්ෂණය සඳහා මෝටර් සයිකල් පදවන අය 124 දෙනකු සම්බන්ධ කර ගෙන තිබූ අතර, ඉන් 105 දෙනකු ම (84.6%ක්* පවසා තිබුණේ තමන්ට බොහෝ අවස්ථාවල යතුරු පැදි රඳවනය හකුළන්නට අමතක වන බව ය. මෙයින් පන්නරය ලැබූ ඔහු තමන්ගේ විචක්ෂණශීලී බුද්ධිය උපයෝගී කරගනිමින් ස්වයංක‍්‍රීය ව හැකිළෙන යතුරුපැදි රඳවනයක් නිර්මාණය කළේ ය. මෙය මුලින් තනි පද්ධතියක් ලෙස(දැන් පවතින්නේ කොටස් දෙකක් සම්බන්ධ වන ලෙසට ය* නිපදවුව ද, මේ වන විට සවි ශක්තියෙන් වඩාත් ඉහළ යතුරුපැදි රඳවනයක් නිපදවීමට හැකි වූයේ තමා ලත් අත්දැකීම් අනුසාරයෙන් මෙන් ම මේ පිළිබඳ උනන්දුවෙන් කටයුතු කළ ‘ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ’ ද නොමද සහයෝගය මත ය.

ඔහු නිර්මාණය කළ ස්වයංක‍්‍රීය ව හැකිළෙන ආරක්ෂිත යතුරුපැදි රඳවනය සම්පූර්ණයෙන් ම ක‍්‍රියාත්මක වන්නේ යාන්ත‍්‍රික ව බැවින් මේ සඳහා කිසිදු අමතර බලශක්තියක් අවශ්‍ය වන්නේ නැත. සාමාන්‍ය පරිදි ම යතුරු පැදිය නවතන ලෙසට ම ක‍්‍රියාත්මක කළ හැකි මෙය නැවත ගමනාරම්භ කරන විට ම රඳවනය ස්වයංක‍්‍රීයව ම හැකිළෙයි. යතුරු පැදියේ බරමත ක‍්‍රියාත්මක වන මෙම උපකරණය ඕනෑ ම යතුරුපැදියකට පහසුවෙන් සවි කළ හැකි ය. මෙම නව නිපැයුම මීට පෙර කිසිවකු විසින් කර නොතිබීම නිසා ‘ශ‍්‍රි ලංකා බුද්ධිමය දේපළ කාර්යංශය’ මගින් නිකුත් කරන ‘පේටන්ට් බලපත‍්‍රය’ ලබා ගැනීමේ හැකියාව ඔහුට ලැබිණි.

විවිධ නව නිර්මාණ තරග රාශියකින් ජය ලබන්නට මං පෙත් විවර කළ මෙම නිර්මාණය වරක් ඇමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ පැවති ‘අන්තර්ජාතික විද්‍යා හා ඉංජිනේරු ප‍්‍රදර්ශනයට’ ද ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව ඔහුට ලැබිණි. එසේ ම ‘ශ‍්‍රි ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම’ විසින් සංවිධානය කළ 2010 වසරේ ජනාධිපති සම්මාන නව නිපැයුම් තරගයෙන් ද ‘ශ‍්‍රි ලංකාවේ ලාබාලතම ජනාධිපති සම්මාන ලාභියා’ වෙමින්් ‘ප‍්‍රවාහන’ අංශයේ ප‍්‍රථම ස්ථානයට ඔහුගේ ‘ආරක්ෂිත යතුරුපැදි රඳවනය’ පත් විය.

රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වූ මධුරංගගේ පළමු නිර්මාණය මෙම ආරක්ෂිත යතුරුපැදි රඳවනය නො වේ. මීට පෙර ඔහු රබර් කිරි කැපිය හැකි ( ඕනෑ ම නුපුුහුණු අයකුට වුවත් ඉතා පහසුවෙන් හා කාර්යක්ෂම ව රබර් කිරි කැපිය හැකි) විද්‍යුත් යාන්ත‍්‍රික මෙවලමක් නිර්මාණය කළේ ය. එයට ද පේටන්ට් බලපත‍්‍රය ලබා ඇති ඔහු ශ‍්‍රි ලංකා නව නිපැයුම් කරුවන්ගේ තරගාවලියෙන් ජය ලබා ලංකාව නියෝජනය කරමින් ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර පැවති අන්තර්ජාතික නව නිපැයුම් ප‍්‍රදර්ශනයට ද සහභාගි විය.

ඔහු අ.පො.ස. උසස් පෙළ විභාගය ගණිත අංශයෙන් හදාරා සමත් වුවත් විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබීමට අවස්ථාව නොලැබෙන්නේ ය. එයින් අධෛර්යට පත් නොවන ඔහු තමාගේ දක්ෂතා හඳුනා ගෙන ඒ ඔස්සේ තම බුද්ධිය මෙහෙයවා තම අභියෝග, ඉලක්ක ජය ගන්නට වෙර දරනවා සේ ම ලෝකෙට යමක් කරන්නට ද සමත්කම් දක්වන්නේ ය. ඔහුගේ මෙම නිර්මාණාත්මක හැකියාව හඳුනා ගන්නා විදුලිබල මණ්ඩලයේ බලධාරීන් ඔහුගේ සේවය විදුලිබල මණ්ඩලය වෙත ලබා ගැනීමට කටයුතු කිරීම සතුටට කරුණකි.

ඔහුගේ අනාගත බලාපොරොත්තුව වන්නේ ‘ආරක්ෂිත යතුරුපැදි රඳවනය’ සකසා වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීම යි. මෙරටට මෝටර් රථ ගෙන්වන සමාගම් සමග එක් ව එම මෝටර් සයිකල් සඳහා උපකරණය සවි කිරීමට ඔහු උත්සාහ දැරුවත් එම සමාගම්වල මව් අයිතිය ඇත්තේ විදේශ රටවල බැවින් එසේ කිරීම අපහසු වී ඇත.

එබැවින් ඔහු මෙරට කාර්මික භාණ්ඩ නිපදවන පෞද්ගලික සමාගම් හා එක් ව මෙය වෙළෙඳ පොළෙන් මිල දී ගත හැකි උපාංගයක් ලෙස නිපදවීමට සාකච්ඡුා කරමින් පවතී. එසේ වුව හොත් අනාගතයේ දී මෙම උපකරණය මිල දී ගෙන අපගේ යතුරු පැදිවලට සවි කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

මධුරංග පවසන ආකාරයට ඔහුට මෙම උපකරණය මෙරට දී නිපදවීමට රු.2000ක පමණ මුදලක් වැය වේ. එබැවින් මේ පිළිබඳ කටයුතු කළ හැකි අයගෙන් උපකරණයේ ඉදිරි ක‍්‍රියාවලි සඳහා අවශ්‍ය කරන සහයෝගය ලබාදිය හැකි නම් ඔහුගේ නව නිර්මාණයට කරන ඇගයීමක් වනවා මෙන් ම මෙරට මාර්ග අනතුරු අඩු කර ගැනීමට දක්වන්නා වූ මහඟු ආයෝජනයක් ද වනු නොඅනුමාන ය.

මෙම උපකරණ නිර්මාණය කිරීමේ දී ඔහුට උදව් කළ සියලූ දෙනාට ද එසේ ම විශේෂයෙන් ඔහුගේ දෙමාපියන්, රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුමඩුල්ල, මාගම්මන සැම්සන් ඉංජිනියර්ස් සහ ශ‍්‍රි ලංකා ඉංජිනේරු ආයතනයේ ඉංජිනේරු පුංචි බණ්ඩා මහතාටත් තම කෘතඥතාව පළ කරන බව ඔහු අප වෙත පවසා සිටියේ ය. 

ඔහුගේ නව නිපැයුම් ගැන දැන ගන්නටත්, එහි දියුණුවට අත්වැළක් වන්නටත් උනන්දුවක් දක්වන ඔබට පහත සම්බන්ධතා ඔස්සේ ඔහු ඇමතිය හැකි ය. 

උපුටා ගෑනීම -   අරුණ ප‍්‍රශාන්ත වලිසුන්දර
(‘ගවේෂණ’ සඟරාව, 2013 ජනවාරි-අපේ‍්‍රල් කලාපයෙනි.) 



Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews