POSTED ON Thursday, August 15, 2013| | Edit Post
ෆොන්ටේරා සමාගමට එරෙහිව නඩු පවරන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

කිරිපිටිවල ඩී.සී.ඩී. අඩංගු බවට දැනට කර ඇති පරීක්ෂණවලින් හෙළි වී තිබියදී අදාළ සමාගම විසින් තවදුරටත් සිය නිෂ්පාදනවල ගුණාත්මක භාවයේ වෙනසක් නැතැයි කියමින් ප්‍රචාරණ කටයුතුවල නිරත වන බව හෙතෙම පෙන්වාදෙයි.

කොළඹදී අද (15) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

ෆොන්ටෙරා සමාගම විසින් ආනයනික කිරිපිටි ආශ්‍රිත වෙළඳ ප්‍රචාරක දැන්වීම් තාවකාලිකව නවතන ලෙසට අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර ඇතැයි හෙතෙම පෙන්වාදුන්නේය.  එහෙත් එම නියෝගය කඩකරමින් එම සමාගම සිය නිෂ්පාදන තවදුරටත් ප්‍රචාරණයේ නිරතවන බව සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේය.
ඒ අනුව මෙය අධිකරණයට අපහාස කිරීමක් බවත් ඊට එරෙහිව නඩු පවරා වන්දි ලබාගත යුතු බවත් ඔහු පැවසීය.  කෙසේ වුවද එම සමාගම තවදුරටත් සිය නිෂ්පාදන ප්‍රචාරණයේ යෙදෙන බව පැහැදිලිව දැක ගත හැකි යැයි රත්නප්‍රිය මහතා කියා සිටියේය.  ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය (අයි.ටී.අයි) විසින් කිරිපිටිවල ඩී.සී.ඩී. අඩංගු බව පැහැදිලිවම පරීක්ෂණ මගින් හඳුනාගෙන ඇති බව සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

එසේම නවසීලන්ත ආණ්ඩුවද කිරිපිටිවල අදාළ රසායනික ද්‍රව්‍ය අඩංගුව බව පිළිගෙන ඇති බව ඔහු සිහිපත් කළේය. නවසීලන්තයේ ෆොන්ටේරා සමාගමේ ප්‍රධානියා මෙම චෝදනාව නිසා ඉල්ලා අස්වී ඇති බවද ඔහු පැවසීය. එසේ තිබියදී මෙරට ෆොන්ටේරා සමාගමේ නිලධාරීන් එම සත්‍යය සඟවමින් ජනතාව මුලාවට පත් කර සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට උත්සාහ කරන බව හෙතෙම පෙන්වාදුන්නේය.

එසේම ජාතික රෝහල ඇතුළු දිවයිනේ සියලූ රෝහල්වල රෝගීන්ට ලබාදෙන යෝගට් ඇතුළු කිරි ආශ්‍රිත නිෂ්පාදන ගැන ද සොයා බැලිය යුතු බව හෙතෙම පැවසීය. ඒවායේ ද අදාළ රසායනික ද්‍රව්‍ය අඩංගුව තිබිය හැකි බව ඔහු කීවේය.

රෝහල්වල රෝගීන්ට ලබාදෙන ආහාර සම්බන්ධයෙන් සොයා බැලීමක් කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් වහාම චක්‍රලේඛයක් නිකුත් කර රෝගීන්ට ලබාදෙන ආහාර කිසියම් පාලනයකට නතු කළ යුතු බවත් හෙතෙම පැවසීය.

බෝ නොවන රෝගවල වැඩිවීමක් ඇති බවද එයට ද හේතුව මෙම කිරි නිෂ්පාදන දැයි නිශ්චිතවම කිව නොහැකි යැයි සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් කීවේය.

- Adaderana

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews