POSTED ON Thursday, August 15, 2013| | Edit Post
විෂ රසායන වාණිජ වාසියක් සඳහා සිතා මතා කිරිවලට එකතු කරනවා යන චෝදනා කඩිනමින් විශාග කොට එම චෝදනාවලට අදාල සාක්‍ෂි සැහෙන පමණ තිබේනම් ඔවුනට විරුද්ධව අපරාධ නීතිය යටත් දඩුවම් පැමිණවීමට මැදිහත් වන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටී.

එහි සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් යොමු කර ඇති එම ලිපියේ මෙසේ දැක්වේ.

සී.සී.සී.විෂ අඩංගු ආනයනික කිරිපිටි පිළිබඳව : කළ දේ අගය කරමු එහෙත් තව බොහෝ දේ කළ යුතුව ඇත.

මේ වන විට ඔබතුමාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සී.සී.සී. විෂ අඩංගු කිරිපිටි ආනයනය කිරීමේ ගැටලූවට අදාලව ආහාර පනත යටතේ යම් සාධාරනීය පියවර කිහිපයක් ක‍්‍රියාත්මක කොට  ඇත. ඒ අනුව අයි.ටී.අයි ආයතනය විසින් පරීක්ෂා කළ අහඹු සාම්පල වලට අදාල කාණ්ඩ අංක සහිත ආනයනික කිිරිපිටි තොග වෙළඳපළත් ඉවත් කිරීමට නියෝග කොට ඇත. එසේම ප‍්‍රචාරක මාධ්‍ය හරහා මහජනයා නොමඟ යැවීමද තාවකාලිකව අත්හිටුවා ඇත. අදාල බහු ජාතික පිටිකිරි සමාගම වාණිජ වශයෙන් මෙන්ම දේශපාලන වශයෙන්ද ප‍්‍රබලව මැදිහත් වන තත්වයක් තුළ ඒ ආකාරයට නිර්භිතව කටයුතු කිරීම් උදාහරණ ශ‍්‍රී ලංකාවේ ඉතා විරලය. එය ඉතා සුභවාදී ප‍්‍රවණතාවයක ආරම්භයක් ලෙස අපි ඔබතුමාලාට අපගේ ප‍්‍රණාමය පුද කර සිටිමු.

කෙසේ වෙතත් මෙම ප‍්‍රශ්ණය පිළිබඳව නිලධාරීන්ට මෙන්ම මහජනයාටද ගැඹුරු අවබෝධයක් නොමැති බව පෙනෙන්නට ඇත. එයට බොහෝ දුරට අදාල සමාගම විසින් සිදු කරනු ලබන අවිද්‍යාත්මක සහ නොමඟ යවන සුළු ප‍්‍රකාශයන්ද හේතු වනවා විය හැක. පළමුවෙන්ම කිව යුත්තේ බොහෝ බහු ජාතික සමාගම් තමන් විසින්ම පාට කර ගන්නා තරමටම ’’සුදු’’ නැති බවය. එවැනි සමාගම් තමන්ගේ ලාභය වැඩි කර ගැනීම සඳහා මහජන සෞඛ්‍ය  පමණක් නොව තමන්ගේම ප‍්‍රතිරූපය පවා විනාශ කර ගන්නා ආකාරය පිළිබඳ උදාහරණ ලෝකය පුරා බහුලව ඇත. සුළු මුදලක් ඉතිරි කර ගැනීම සඳහා අප‍්‍රවේශම්ව විෂ වායු ගබඩා කිරීම ඉන්දියාවේ බෝපාල් නුවර එක් රැයකදී 15,000 ක් මිනිසුන්ට පීවිත වලින් වන්දි ගෙවීමට සිදුවිය.

ශ‍්‍රී ලංකාවට සී.සී.ටී. විෂ සහිත කිරිපිටි ආනයනය කළ සමාගම සහ ඊට අනුබද්ධ සමාගමක් පෙර වැරදි දෙකක් පිළිබඳව චෝදනාවට ලක් වී ඇත. ඉන් පළමුවැන්න කිරි වලින්  මිළ අධික කිරි මේදය අනුමත ප‍්‍රමාණය ඉක්මවා ඉවත් කොට ගෙන ඒවා බටර් මේදය ලෙස වැඩි මිලට විකිණීම සඳහා කිරි වලට ෆාම් තෙල් සහ වෙනත් ලාභ සත්ව තෙල් එකතු කිරීමය. එම කූඨ ව්‍යාපාරික උපක‍්‍රමය පර්යේෂණ වාර්තා වලින්ද ඔප්පු වී ඇති අතර එම චෝදනා සමාගම විසින්ද වක‍්‍රව පිළිගෙන ඇත. එම චෝදනාවට අදාලව නිදහසට කාරණා ලෙස එම සමාගම දක්වා සිටියේ කදිම හේතුවකි. ශ‍්‍රි ලංකාව,  බංගලාදේශය වැනි රටවල ජනතාවට මිළ අධික  නියම කිරිපිටි මිළදී ගැනීමේ හැකියාව අඩු බැවින් එසේ මිල අඩු නව නිෂ්පාදනයක් වෙළඳපළට ඉදිරිපත් කළ බව ඔවුන් ප‍්‍රසිද්ධියේ පිළිගන්නේය.

දෙවන චෝදනාව කිරිවල තිබෙන මිළ අධික ප්‍රෝටීන ඉවත් කොට ඒවා වෙනම නිෂ්පාදන ලෙස අධික මිළට විකිණීම සඳහා විකල්ප රසායනිකයක් ලෙස මෙලමයින් නැමැති රසායනිකය කිරිවලට එකතු කිරීමය. ඊට වරදකරුවන් වු අදාල සමාගමේ අනුබද්ධ සමාගමක් වු චීන සමාගමක නිලධාරීන්ට මරණ දඩුවම හිමි විය. එදා ඔවුන් නිදහසට කාරණා ලෙස දැක්වුයේ කෘෂි රසායනවල අඩංගු මෙලමයින් තණ කොළ හරහා ගවයාගේ කිරිවලට එකතු වන බවය. නමුත් වසර 50-60 ක සිට එම රසායන ද්‍රව්‍ය ගොවිබිම් වල භාවිතා නොකෙරෙන බව පසුව ඔප්පු විය. ඒ අනුව ’‘මෙලමයින් රහස’’ එළිදරව් විය. එනම් මෙලමයින් අනුවක නයිට‍්‍රජන්  අනු 7 ක් තිබෙන බැවින් එවැනි එක් අනුවක් බාහිරින් කිරිවලට එකතු කිරීම මගින් ප්‍රෝටීන හෙවත් ඇමයිනෝ ඇසිඞ් අනු 7 ක් කිරිපලින් ඉවත් කර ගත හැකි බවය. මේ වන විට එම සමාගම වසරකට එසේ කිරිවලින් ඉවත් කරන ප්‍රෝටීන් කි.ග‍්‍රෑ මිලියන 5ක් ලෝකය පුරා ඉතා අධික මිළට අලෙවි කරයි. ඒ අනුව සිතාමතා බාහිරින් එකතු කරන මෙම රසායනික ද්‍රව්‍ය වලට මුල්‍යමය වටිනාකම නොතෙක් දැයි උපකල්පනය කිරීම අමාරු නැත.

ගරු අමාත්‍යතුමනි, ඒ ආකාරයට මෙලමයින් ප‍්‍රශ්නයේ සැබෑ තත්වය එළිදරව් වී ඇති තත්වයක් තුළ කිරි පිටි වල අනුමත  ප්‍රෝටින ප‍්‍රමාණය පෙන්වන අතර එවායින් ප්‍රෝටීන ප‍්‍රමාණයක් ඉවත් කර ගැනීම සඳහා වෙනත් රසායනික ද්‍රව්‍යක් සොයා ගැනීමට ඔවුන් කටයුතු කළ බව පිළිගැනීමට සාධාරණ සාක්ෂි  ඇත. සී.සී.සී. නැමැති රසායනික ද්‍රව්‍ය මෙලමයින් වලට වඩා ඔවුුන්ගේ කටයුත්තට සුදුසු වන්නේ ඒවා කිරි කර්මාන්තය තුළ නෘෂි රසායනිකයක් ලෙස දැනටමත් භාවිතා කෙරෙන බැවිනි. ඒ නිසා තණ කොළ වලින් ඒවා ගවයාගේ් ආහාර දාමයට එකතුවන බවට තර්කයක් ගොඩ නැගිය හැක.

එහෙත් දැනට කිරිපිටි සාම්පල වලින් සොයාගත් ප‍්‍රමාණය සී.සී.සී. රසායනිකය කිරිපිටි වල අඩංගු වනවා නම් තණකොළ වවන්නේ සී.සී.සී පිට්ටනි වලදැයි ප‍්‍රශ්න කිරීමට සිදු වනු ඇත. ඒ අනුව මෙම සමාගම් ඇත්ත සැඟවීම සඳහා කොතෙක් ව්‍යාජ තර්ක ඉදිරිපත් කළත් සී.සී.සී රසායනිකය එදා මෙලමයින් මෙන්ම සිතා මතා කිරිවලට බාහිරින් එකතු කරන බව  ඔප්පු කිරීම අමාරු නැත. ඇත්ත වශයෙන්ම මෙලමයින් අනුවක නයිට‍්‍රජන් අනු 7 ක් තිබුණත් සී.සී.සී. වල ඇත්තේ අනු 4 ක් පණි. එහෙත් සී.සි.සී. වර්ණයක් හෝ් ගඳක් නොමැති ජලයේ ඉතා හොඳින් දියවන සියුම් කුඩකි. එසේම සී.සී.සී. වල විෂ විද්‍යා දත්ත මෙලමයින් වල තරම් එකතු වී නොමැති නිසා ඒවායේ විෂ අඩු යයි විද්වත් මතයක්ද ඇත. අනාගතයේදී විෂ විද්‍යා දත්ත එකතු වන විට ඒවා මෙලමයින් වලටත් වඩා විෂ සහිත යයි ඔප්පු විය හැකි වුවද අද දවසේදි සී.සී.ඞී. යනු නයිට‍්‍රජන් අනු 3 ක් පාඩුවක් තිබුණත් මෙලමයින් වලට වඩා හොඳ සොයා ගැනීමක් බවට කිසිදු සැකයක් නැත.

මෙම සමාගම් පළමු වටයේදී කියා සිටියේ කිරිපිටි වල සී.සී.සී. ඉතා සුළු වශයෙන් හෙවත් ගණන් ගත යුතු නැති මට්ටමකින් තිබෙන බවය. පසුව ප‍්‍රශ්නය වර්ධනය වන විට ඔවුන් කියා සිටියේ එසේ සී.සී.ඞී.තිබුණා වුවත් ඒවායේ කිසිදු විෂක් නැති බවය. ඔවුනට අනුව සී.සී.ඩි යනු ආහාරයට ගන්නා මේස ලූණු වලටත් වඩා අඩු විෂ සහිත ද්‍රව්‍යකි. එහිදී ඔවුන් නොකියන දෙයක් ඇත. ඒ සී.සී.ඞී වලට අදාල විෂ  විද්‍යා දත්ත තවම වර්ධනය වී ඇත්තේ ඒවා මනුෂ්‍ය ශරීරයට ඇතුළත්වීම පිළිබඳ සාක්ෂි ලැබෙන්නේ ඉතා මෑත කාලීනව වීම නිසා බවය.

ඒ අනුව ගරු අමාත්‍යතුමනි, මෙම කරුණු සියල් සලකා බලා මේ වන විට ඔබතුමා විසින් ක‍්‍රියාත්මක කරමින් සිටින පියවර තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පහත සඳහන් යෝජනාද කඩිනමින් ක‍්‍රියාත්මක කරන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.


  1. අයි.ටී.අයි ආයතනය අහඹු ලෙස කරන ලද සාම්පල පරීක්ෂාව වඩාත් විධිමත් ලෙ සම්පුර්ණ කිරීම. ඒ සඳහා සමාගම නිකුත් කොට ඇති සියලූම කාණ්ඩ අංක වලට අදාල වෙළඳපළේ පවතින තොග වලින් සමාගමේ නිලධාරීන් ඉදිරිපිටදී සාම්පල ලබා ගෙන පරීක්‍ෂා කළ යුතුය. ඊට අමතරව සමාගමේ ගබඩාවල  සහ වරායේ තිබෙන තොග වලින්ද නිෂ්පාදින තොග අංක අනුව සාමිපල ලබාගත යුතුය. ඒවා සියල්ල අයි.ටී.අයි ආයතනය මගින් පරීක්‍ෂා කළ යුතු බව සහ ඒ සඳහා විදේශීය ආයතන යොදා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවද අපි ආවධාරණය කරමු.
  2. එම පරීක්‍ෂණ අනුව සී.සී.සී. අඩංගු බවට තහවුරු වන වෙළඳපලේ පවතින තොග සමාගම මගින් නැවත කැඳවා වෙළඳපලක් ඉවත් කළ යුතුය. එසේම සමාගමේ ගබඩාවල සහ වරායේතිබෙන තොග වලද එසේ සි.සී.සී. කුමන ප‍්‍රමාණවලින් හෝ අඩංගු වේ නම් ඒවා වෙළඳපළට නිකුත් කිරීම අත්හිටුවා නැවත අපනයනය කළ යුතුය.
  3. ඊට අමතරව ආනයනික කිරිපිටි දියකර නිපදවනු ලබන යෝගට් වර්ගද ඒ ආකාරයට පරීක්‍ෂාවට ලක් කළ යුතුය. විශේෂයෙන්ම ඒවා කුඩා දරුවන් විසින් ආහාරයට ගන්නා බැවින ඒ සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතුය.
  4. මෙම විෂ රසායන වාණිජ වාසියක් සඳහා සිතා මතා කිරිවලට එකතු කරනවා යන චෝදනා කඩිනමින් විශාග කොට එම චෝදනාවලට අදාල සාක්‍ෂි සැහෙන පමණ තිබේනම් ඔවුනට විරුද්ධව අපරාධ නීතිය යටත් දඩුවම් පැමිණවීමට මැදිහත් වන ලෙසද අපි අවසාන වශයෙන් ඉල්ලා සිටිමු.

මෙම ජාතික වගකීම ඉටු කිරීම සඳහා ඔතුමාට ධෛර්ය පතමු.

උපුටා ගැනීම -http://lankacnews.com/sinhala/news/99398/

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews