POSTED ON Sunday, August 4, 2013| | Edit Post

මුළු රටේ සාමාන්‍ය සංවර්ධන කාර්යයන් සියයට 8ක් වන අවස්ථාවේ උතුරේ සංවර්ධනය සියයට 22ක් දක්වා වැඩිවීම ගැන අපි සතුටට පත් වෙනවා. අවුරුදු 30ක අඳුරු යුගය මින් මතුවට එන්නේ නැහැ. ඔබලා අප කෙරෙහි දක්වන ලද විශ්වාසය තමයි වැදගත් වන්නේ. දුර ඉන්න නෑයාට වඩා ළඟ ඉන්න අසල්වැසියා තමයි වැදගත් වන්නේ යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ වව්නියාව ඉලුක්කුලම් භාරතිපුරම් ප්‍රදේශයේ ඉදිකළ ඔමිගාලයින් ඇපරල් ආයතනය ජනතා අයිතියට පැවරීමේ උත්සවයට (03දා) පෙරවරුවේ සහභාගි වෙමිනි. මෙම ආයතනය ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ආයෝජනයක් වන අතර එය අක්කර 22ක බිම් ප්‍රමාණයක පවතී. කර්මාන්ත ශාලාවට පමණ අක්කර 8ක භූමි ප්‍රමාණය යටවී තිබිම මෙහි ඇති විශේෂත්වය වෙයි. ඉතාලියේ අයෝජනයක් වන මෙමගින් ලෝකයේ 3300ක් වන ඇඟලුම් සංචිතවලට ඇඟලුම් බෙදා හරිනු ලබයි.

මෙම උත්සවය වැඩිදුරටත් ඇමතූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
මා මුලින්ම සන්තෝෂ වෙනවා මෙම ස්ථානයට පැමිණ ඇඟලුම් කර්මාන්තශාලාව විවෘත කිරීමට අවස්ථාවක් ලැබිම පිළිබඳව. විශේෂයෙන්ම අවුරුදු තිහකට ආසන්න කාලයක් තිබූ අඳුරු යුගය නැති කර අලුත් ආලෝකයක් මේ ප්‍රදේශයේ ජනතාවට ලබා දීම ගැන අප සතුටට පත් වෙනවා. මේ රට රටක් වශයෙන් තමයි සංවර්ධනය කළ යුත්තේ. අපි එක පළාතක් සංවර්ධනය කරලා තව පළාත් සංවර්ධනය නොකර සිටියොත් අසාධාරණයක් සිදු වෙනවා. ඒ නිසා තමයි වසර 30ක් සංවර්ධනය කිරීමට අපහසු වූ ප්‍රදේශයන් සංවර්ධනය කරන්න පටන් ගන්නේ. ඒ වගේම තරුණ පිරිසට රටේ සංවර්ධනයට දායක වීමට අවස්ථාවක් සැලසීමත් අපගේ වගකීමක්. ඒ අවස්ථාව සැලසීමට රජයත් පෞද්ගලික අංශයත් ඉදිරිපත් වීම ගැන මා සතුටට පත් වෙනවා.

මෙම කර්මාන්ත සමාගම ලංකාවේ ආයෝජනය කරලා වවුනියාවේ තවත් ආයෝජනයක් කිරීමට මුලින්ම පැමිණි කණ්ඩායම ලෙස ඔවුන්ට අප ස්තූතිවන්ත විය යුතුයි. ඒ වගේම තවත් නොබෝ දිනකින් කර්මාන්ත ශාලා කීපයක් විවෘත කිරීමට අපි සූදානම් වෙලා සිටිනවා. ඒ වගේම මෙම උත්සව සභාවේත් එවැනි ආයෝජකයින් සිටින බව මා දන්නවා.

ඒ නිසා ජනතාවගේ යුතුකම් ඉටු කිරීමට නොපැකිළිව අපි කටයුතු කරනවා. උතුරේ පාරවල් වේවා, දුම්රිය වේවා, රෝහල් වේවා, පාසල් වේවා, එකින් එක සංවර්ධනය කරමින් සිටිනවාය කියන එක ඔබට පෙනෙනවා ඇති. මේ රටේ සාමාන්‍ය සංවර්ධනය සියයට 8ක් වන අවස්ථාවේ උතුරේ එය සියයට 22ක් දක්වා වැඩිවීම ගැනත් අපි සතුටට පත් වෙනවා. ඒ නිසා තමුන්නාන්සේලාගේ සංවර්ධනය පිළිබඳව දක්වන සහයෝගය ගැන සතුටට පත් වෙනවා. ඉතාලි රජය අපට දක්වන සහයෝගය පිළිබඳව සතුටට පත් වෙනවා. අවුරුදු 30ක අඳුරු යුගය මින් මතුවට එන්නේ නැහැ. ඔබලා අප කෙරෙහි දක්වන විශ්වාසය තමයි ඉතා වැදගත් වන්නේ. දුර ඉන්න නෑදෑයට වඩා ළඟ ඉන්න අසල්වැසියා තමයි වැදගත් වන්නේ.



ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ඉතා වැදගත්. මෙය පිහිටුවනු ලැබුවේ විදේශීය ආයෝජනයක් ලෙසයි. මෙම කර්මාන්ත ශාලාවේ 2500කට වැඩි සංඛ්‍යාවක් සේවය කරනවා. උතුරු පළාතේ ජනතාවට ලැබුණු විශාල සම්පතක් ලෙස මෙය සැලකිය හැකියි.
මෙම සමාගම විශාල ආයෝජනයක් සහිතව පිහිටුවනු ලැබූ අතර එයට අමතරව එම සමාගම තුළ විශාල ආයෝජන ප්‍රමාණයක් කර තිබෙනවා. සුනාමි ව්‍යවසනය අවස්ථාවේදී ටැලිසෝනියා සමූහය හම්බන්තොටට නිවාස 50ක් ඉදිකරනු ලැබුවා. ඒ ගැනත් අප ස්තූතිය ප්‍රකාශ කරනවා.

ජනාධිපතිතුමා මේ රට බේරා ගැනීමෙන් පසුව එතුමාගේ මෙන්ම අපගේ බලා‍පොරොත්තු විශාල පහසුකම් ප්‍රමාණයක් උතුරේ ජනතාවට ලබා දීමයි. මිලියන 47000ක් උතුරට අපි වැය කර තිබෙනවා. මිලියන ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් ආයෝජනය කිරීමට හැකි වී තිබෙනවා. එදා උතුරේ පැවැති යුද්ධය හේතු කොට ගෙන අසරණවී සිටි උතුරේ ජනතාවට තම අසරණකමින් මිදීම සඳහා රජය විශාල ආයෝජන මේ ප්‍රදේශයට ගෙනඒමට කටයුතු කරමින් සිටිනවා.

කුඩා කර්මාන්ත හා සාම්ප්‍රදායික කර්මාන්ත අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා
උතුර වෙලාගත් යුද්ධයෙන් පසු ජනාධිපතිවරයා මෙම ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව සඳහන් කරන්න කැමැතියි. එය අපගේ සතුටට හේතුවක් වී තිබෙනවා. යාපනය අර්ධද්වීපය තුළත් ජනාධිපතිවරයා විශාල සංවර්ධන කටයුතු කරමින් සිටිනවා.

ඒ වගේම මේ රටේ ජනතාව විඳින සියලුම පහසුකම් මෙම පළාත්වලටත් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම සියලු දෙනාම සමානාත්මකව සැලකීම සඳහා රජය විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටිනවා. ඒ සඳහා විශාල අයෝජකයින් මෙම ප්‍රදේශවලට ගෙන ඒමට රජය තීරණය කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස එම කර්මාන්තශාලාව පිහිටුවීම සැලකිය හැකියි.

මෙවැනි විශාල කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීම සඳහා එම සමාගමට වගේම සැන්ඩෝ මහතාටත් අප ස්තූතිය පළ කර සිටිනාව. එය මෙම ප්‍රදේශයේ ජනතාවගේ විශාල ජයග්‍රහණයක් බව සඳහන් කළ යුතුයි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන්
වව්නියාවේ සියලුම ජනතාව වෙනුවෙන් මා ජනාධිපතිතුමාට ස්තූතිය පළ කරනවා. ජනාධිපතිතුමාගේ වව්නියා සංචාරය ඉතා වැදගත් මෙරට ඇඟලුම් කර්මාන්ත ඉතිහාසයට මෙය ඉතා වැදගත් දිනයක්. මේ අවස්ථාවේ යහපත් පණිවුඩයක් ලබාදීම අපගේ යුතුකමක්. මේ රට විශාල යුද්ධයකින් පීඩාවට පත් වූ වේලාවේ මෙයට වසර ගණනාවකට පෙර එය සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට ජනාධිපතිතුමාට හැකිවුණා.

මා විශේෂයෙන් ස්තූතිය පළ කරන්න අවශ්‍යයි මෙරට තුළ ආයෝජනය කරන ආයෝජකයින්ට. මා මෙහිදී ජනාධිපතිතුමාට ස්තූතිය පළ කරනවා දූරදර්ශී තීරණයක් ගැනීම පිළිබඳව. එමගින් අපගේ ඇඟලුම් අපනයනය වර්ධනය කිරීමට හැකි වෙනවා. 1.5 ප්‍රතිශතයක් මේ වන විට ඇඟලුම් අපනයනය කර තිබෙනවා. මෙම කර්මාන්ත ආයතනය පිහිටුවූ සමාගම රටවල් 30ක තම ආයෝජන සිදු කර කර්මාන්තශාලා පිහිටුවා තිබෙනවා. මෙම සමාගම මගින් අපගේ රටේ ජනතාව වෙනුවෙන් විශාල සමාජ සේවාවක් ද සිදු කර තිබෙනවා.

ඉතාලි තානාපති පැබ්රිසෝ වියෝ ඇවියෝ මහතා
මෙම කර්මාන්ත ශාලාව ඉතාලි ආයෝජනයක් ලෙස සලකන්නට පුළුවන්. මෙය ආයෝජන මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස ද සැලකිය හැකියි. මගේ රට මගින් ශ්‍රී ලංකාවේ ආයෝජනයන් සිදු කරමින් සංවර්ධනයට මහඟු උරදීමක් සිදු කරමින් සිටිනවා. ඒ පිළිබඳව අප තුළ ඇත්තේ දැඩි සතුටක්.

ඉතාලියේ ජනතාව මේ රටේ ජනතාවට දක්වනුයේ සුහදශීලීත්වයයි. සාමය උදාවීමත් සමග සමාජ වර්ධනයට මෙන්ම දේශපාලන කටයුතුවලදීද ඉතාලිය සිය සහයෝගය නිරන්තරයෙන් ලබාදී ඇති බව මම දනිමි. මෙම ආයෝජනය තුළින් දිගුකාලීන ලාභයක් ලබා ගැනීමට හැකිවන බව අප දන්නවා. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැවැන්ත සහයෝගයක් බවද අප සඳහන් කළ යුතුයි.
එලෙසම මෙම ආයෝජනය තුළින් විශාල රැකියා ප්‍රමාණයක් ප්‍රසාරණය වන බව අපි දනිමු. එය ඇත්තෙන්ම සාමය ඇතිවූවාට පසුව උතුරේ ජනතාව ලබන විශාල ජයග්‍රහණයක් බවද පැහැදිලියි.

ඔමිගා ඇපරල් ආයෝජක ආචාර්ය සැන්ඩෝ වෙරනයි මහතා
ශ්‍රී ලංකාවේ ජනතාව සමග ඉතාමත් සුහදභාවයකින් අප කටයුතු කරමින් සිටිනවා. මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරීම සඳහා රජය වගේම ආයෝජන මණ්ඩලය උපකාර කර තිබෙනවා. කර්මාන්තශාලාව ඉහළම කළමනාකාරීත්වයක් යටතේ පිහිටුවා තිබෙනවා. ඒ වගේම මෙමගින් සියලුම පහසුකම්වලින් සම්පූර්ණව සකස් කර තිබෙනවා. ඒ පිළිබඳව අප සතුටට පත් වෙනවා. මෙවැනි කර්මාන්ත ශාලාවක් පිහිටුවීමට හැකිවීම ගැන.

ඔමිගා කර්මාන්ත ශාලාව වෙනුවෙන් ස්තූති කතාව කළමනාකරු ෆිලික්ස් පෙරේරා මහතා විසින් සිදු කරන ලදී. මෙම අවස්ථාවට අමාත්‍ය තිස්ස කරල්ලියද්ද, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා, උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි සහ ප්‍රාදේශීය දේශපාලනඥයෝ රැසක්ද සහභාගි වූහ.




උපුටා ගෑනීම -   Anura S. Liyanage Target-news - Monday, 05 August 2013 -ක්‍රිස්ටි මහේෂ් ද සිල්වා වව්නියාවේ සිට..

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews