POSTED ON Saturday, May 18, 2013| | Edit Post
'ඔබම විය මිහිපිට දෙවියන්'

එල්.ටී.ටී.ඊයට එරෙහි මානුෂීය මෙහෙයුමේදී මව්බිම වෙනුවෙන් දිවි කැපකළ සෙබළුන් 6 දෙනෙකුට පරම වීර විභූෂණ සම්මානය පිරිනැමීමද විජයග‍්‍රාහී දින සැමරුමේදී  සිදුකෙරුණා. ගජබා රෙජිමේන්තුවේ කපිතාන් පුන්සිරි, ගැමුණු හේවා බළකායේ ලූතිනන් ඩබ්ලිව්.ඞී. ජයතිලක සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් කේ.ජී.එම්.එන්.ආර්. පෙරේරා එම සෙබළුන්ගෙන් තුන්දෙනෙක්. කමාන්ඩෝ රෙජිමේන්තුවේ සැරයන් කේ.පී.ඞී.ටී. ගුණසේකර, කමාන්ඩෝ රෙජිමේන්තුවේම කෝප‍්‍රල් එච්.ජේ. කුමාර සහ එම රෙජිමේන්තුවේම කෝප‍්‍රල් එස්.බී.ඒ.එන්. පුෂ්පමාල් සෙසු අය වනවා. ඔවුන්ට හිමි සම්මාන ජනාධිපතිවරයා විසින් පිරිනැමුණු අතර ඒවා පිළිගනු ලැබූයේ ඔවුන්ගේ මව්පියන් හෝ බිරින්දෑවරුන් විසින්. වෑඩි විස්තර පහතින්....



1. නිලධාරි 66009 කපිතන් ජීඑන් පුන්සිරි - ගජබා රෙජිමේන්තුව (මියගිය)

වර්ෂ 2007 ක් වු ජුලි මස 02 වන දින මෙම නිලධාරි උවරක්කුලම ප්‍රදේශයේ විමර්ශන මුරයකට සහභාගී වී ඇති අතර, එම විමර්ශන මුරය ත්‍රස්තවාදීන්ගේ නිරීක්ෂනයට ලක්වී මෙම කණ්ඩායමට ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇත. 

තම කණ්ඩායම සතුරාගේ ග්‍රහණයට හසුවන බව දැනගත් එවකට ලුතිනන් ජීඑන් පුන්සිරි අධිබලැති ක්ලේමෝ බෝම්බයක් පුපුරවා හැර ඉදිරියට පැමිණෙන ත්‍රස්තවාදීන් හට උපරිම ශක්තිය යොදා ප්‍රහාර එල්ල කරන ලදී. තම අවියෙන් පොකුරු උන්ඩ ප්‍රහාරයන් දිගින් දිගටම එල්ල කලද ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරය මැඩපැවැත්වීමට නොහැකි වීම මත තමා සතුව තිබු අත් බෝම්බ රැගෙන ත්‍රස්තවාදීන් ඉදිරියට කඩා පැනීමේදී එල්ල වු වෙඩි ප්‍රහාරයකින් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය.
සිය ආත්මාරක්ෂාවද නොතකා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී කරන ලද වික්‍රමාන්විත වුත් අභීත බව ප්‍රකට කරන්නාවුත් මෙම ක්‍රියාව අරබයා ගජබා රෙජිමේන්තුවට අයත් කපිතන් ජීඑන් පුන්සිරි නිලධාරි 66009 පරම වීර විභූෂණයෙන් පිදුම් ලබන්නේය.





2. නිලධාරි 416581 ලුතිනන් ඩබිඩි ජයතිලක, ගැමුණු හේවා බලකාය (මියගිය)

වර්ෂ 2009 ක්වු අප්‍රේල් මස 20 වන දින ඉරණමඩු ප්‍රදේශයේ දැවැන්ත ආරක්ෂක පස් බැමිම අත්පත් කරගැනිම සදහා සිදුකරන ලද ක්‍රියාන්විතයට ඛණ්ඩභාර නිලධාරියෙකු වශයෙන් මෙම නිලධාරිද සහභාගි විය.

තමා පැමිණි කණ්ඩායම සමග උපක්‍රමශිලිව ත්‍රස්තවාදි බංකර් පෙළ වෙත ළගාවි ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරිමට එවකට උපපන්න නිලධාරි ඩබ්ඩි ජයතිලක සමත් විය. සතුරා සමග මුහුණට මුහුණලා සිදුකළ මෙම සටනේදි තම සගයින් විශාල ප්‍රමාණයක් තුවාල ලැබිම මත අනෙකුත් සෙබළුන්ගේ ජිවිත ආරක්ෂා කිරි‍මේ අරමුණින් තමා අත තිබු අත් බෝම්බය සමග සතුරු බංකරය තුළට කඩා පැන එය පුපුරුවා හැර ත්‍රස්තවාදින් විශාල ප්‍රමාණයක් විනාශයට පත්කරන ලදි.

මෙහිදි සිදුවු බරපතල තුවාල හේතුවෙන් යුද භුමියේදීම අවසන් සුසුමි හෙළු ගැමුණු හේවා බලකායට අයත් ලුතිනන් ඩබ්ඩි ජයතිලක නිලධාරි 416581 රණවිරුවාණන් මව්බිම වෙනුවෙන් සිදුකල මෙහෙවර වෙනුවෙන් පරම විර විභුෂණයෙන් පිදුම් ලබන්නේය.



3. සෙබල 552009 මාණ්ඩලික සැරයන් පෙරේරා කේජීඑන්එල්ආර් ආර්එස්පී කමාන්ඩෝ රෙජිමේන්තුව (මියගිය)

වර්ෂ 2009 ක් වු අප්‍රේල් මස 21 වන දින පුදුමාතලන් ප්‍රදේශයේ දමිල ජනතාව සිරකරගෙන සිටි අවස්ථාවේ ඔවුන් බේරා ගැනීම සදහා එවකට සැරයන් පෙරේරා කේජීඑන්එල්ආර් ආර්එස්පී ඇතුළු කණ්ඩායමක් ඉදිරිපත් විය. 

මෙහිදි ත්‍රස්තවාදීන් සමග පැවති සටනේදී සතුරු භූමිය වෙත බඩගාගෙන ගොස් ඔවුන් වෙත ප්‍රහාර එල්ල කර ත්‍රස්තවාදීන් විශාල සංඛ්‍යාවක් මරුමුවට පත් කළේය. එමගින් සිර කරගෙන සිටි සිවිල් ජනතාවද දැඩි පරිශ්‍රමයක් යොදා බේරා ගැනීමට හැකියාව ලැබී ඇත.

ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී මව්බිමේ නිදහස පිණිස සටන් කර තම ජීවිතය පුදකර කල ක්‍රියාව අරබයා කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් සෙබල 552009 මාණ්ඩලික සැරයන් පෙරේරා කේජීඑන්එල්ආර් ආර්එස්පී පරම වීර විභූෂණයෙන් පිදුම් ලබන්නේය.




4. සෙබල 552511 සැරයන් ගුණසේකර කේපීඩිටි - කමාන්ඩෝ රෙජිමේන්තුව (මියගිය)

ප්‍රබල ත්‍රස්තවාදි බලකොටුවක් වු දර පොයින්ට් අත්පත් කර ගැනිමට වර්ෂ 2009 ක් වු පෙබරවාරි මස 16 වන දින 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක නායකයෙකු වශයෙන් එවකට කෝප්‍රල් ගුණසේකර කේපිඩිටි ක්‍රියාන්විතය සදහා සහභාගී විය.

මෙම ක්‍රියාන්විතයේදි හමුදා භට පිරිස් වෙත ත්‍රස්තවාදින් විසින් එල්ල කරන ලද ප්‍රහාරය තුළීන් තම අනුගාමික සෙබළුන්ට විය හැකි හානිය ක්ෂණිකව අවබෝධ කරගත් මොහු සහෝදර සමාජිකයන්ගේ ජිවිත ආරක්ෂාව ගැන සිතා ස්වේච්ඡාවෙන්ම ප්‍රහාර එල්ල වන බංකරය තුළට වෙඩි ප්‍රහාරයක් දියත් කරමින් කඩා පැනිමේදි එල්ල වු වෙඩි ප්‍රහාරයකින් එම බංකරය තුළදිම දැයෙන් සමුගෙන ඇත.

ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වි රණකාමිත්වය විදහා දක්වමින් සටන් වැද සිදුකල ක්‍රියාව අරබයා කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් සෙබල 552511 සැරයන් ගුණසේකර කේපිඩිටි පරම වීර විභුෂණයන් පිදුම් ලබන්නේය.




5. සෙබල 553286 කෝප්‍රල් නිලන්ත කුමාර එච්ඒ - කමාන්ඩෝ රෙජිමේන්තුව (මියගිය)

වර්ෂ 2009 ක් වු ජනවාරි මස 29 වන දින පුදුකුඩිඉරිප්පු ප්‍රදේශය අත්පත් කර ගැනීම සදහා එවකට ලාන්ස් කෝප්‍රල් නිලන්ත කුමාර එච්ඒ සුක්ෂම විමර්ශනයක් සිදුකර ත්‍රස්තවාදීන්ගේ ශක්තිමත් බංකර් සහ බර අවි ස්ථානගත කර තිබු ස්ථානයන් නිවැරදිව නිරීක්ෂණය කරගෙන ඇත. 

ඒ අනුව ශක්තිමත් ලෙස ඉදිකර තිබු ත්‍රස්තවාදී බංකරය විනාශ කිරීම සදහා ප්‍රහාරයක් දියත් කර ඇති අතර එහිදී කිහිප දෙනෙකු තුවාල ලැබුවද මොහු අධිෂ්ඨානයෙන් යුතුව ප්‍රහාර එල්ල කර එම බංකරය තුලට කඩාපැන බංකරය අත්පත් කරගැනීමට කටයුතු කර ඇත.

එහිදී සිදුවු බරපතල තුවාල හේතුවෙන් රට වෙනුවෙන් උදාරතර මෙහෙවරක් සිදුකර මොහු එම භූමියේදීම දැයෙන් සමුගෙන ඇත. ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී සැබෑ විරුවෙකු ලෙස කල ක්‍රියාව අරබයා කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් සෙබල 553286 කෝප්‍රල් නිලන්ත කුමාර එච්ඒ පරම වීර විභූෂණයෙන් පිදුම් ලබන්නේය.




6. සෙබල 554572 කෝප්‍රල් පුෂ්පමාල් එස්වීඒඑම් - කමාන්ඩෝ රෙජිමේන්තුව (මියගිය)

පුදුමාතලන් යුදමුක්ත කලාපයේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් රදවාගෙනන සිටි සිවිල් වැසියන් වර්ෂ 2009 ක් වු අප්‍රේල් මස 21 වන දින මුදවා ගනිමින් සිටියදී මෙම කණ්ඩායම වෙත ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එල්ල වු ප්‍රහාරය මැඩපැවැත්වීම සදහා එවකට ලාන්ස් කෝප්‍රල් පුෂ්පමාල් එස්වීඒඑම් ස්වකැමැත්තෙන් ඉදිරිපත් වී සතුරන් සමග මුහුණට මුහුණලා සටන් කොට ඔවුන් විනාශ කිරීමට කටයුතු කර ඇත.

එම සටනේදී මොහු තුවාල ලැබුවද ත්‍රස්තවාදී ප්‍රහාරවලට සාර්ථක ප්‍රතිප්‍රහාර එල්ල කර ඔවුන්ගේ සියළු උත්සාහයන් ව්‍යර්ථ කර ආරක්ෂක වලල්ලෙහි රැදී සිටියදී ත්‍රස්ත ප්‍රහාරයකින් මෙම වීරෝදාර රණවිරුවා සටන් බිමේදීම දැයෙන් සමුගෙන ඇත.

දිවි පරදුවට තබා අභිත රණවිරුවෙකු සේ සිදුකරන ලද මෙම වික්‍රමාන්විත ක්‍රියාව අරබයා කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් සෙබල 554572 කෝප්‍රල් පුෂ්පමාල් එස්වීඒඑම් යන රණවිරුවාණන් පරම වීර විභූෂණයෙන් පිදුම් ලබන්නේය.


උපුටා ගත්තේ " Sri Lanka Army-The Best. " පිටුවෙනි.



Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews