POSTED ON Thursday, May 9, 2013| | Edit Post
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සුපිරි සංචිතයේ ජාත්‍යන්තර අත්දැකීම්ලාභි ප්‍රවීණ ක්‍රීඩිකාවක වන නදීකා ලක්‌මාලි සහ ඩබ්. කේ. එල්. ඒ. නිමාලි ඊයේ (8 දා) තායිලන්තයේ චෞන්බුරි විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති 2013 ආසියානු ග්‍රොන්ප්‍රී මලල ක්‍රීඩා ශූරතාවේ දෙවැනි අදියරේදී කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසවුවෙන් සහ මීටර 800 ඉසවුවෙන් පිළිවෙලින් ප්‍රථම ස්‌ථාන වාර්තා කිරීමට සමත් වූහ.
අදාළ ශූරතාවේ බැංකොක්‌ හි පැවැති ප්‍රථම අදියරේදී හෙල්ල විසිකිරීමේ ඉසවුවෙන් ප්‍රථම ස්‌ථානය දිනූ නදීකා ලක්‌මාලි ඊයේ පැවැති දෙවැනි අදියරේදී සිය ඉසවුව මීටර 55.99 කින් නිම කොටද ප්‍රථම ස්‌ථානය යළි රැකගත් අතර බැංකොක්‌ අදියරේ මීටර 800 ඉසවුවෙන් 6වැනි ස්‌ථානයට පත්වූ ඩබ්. කේ. එල්. ඒ. නිමාලි ඊයේ සුවිශේෂ වර්ධනයක්‌ පෙන්නුම් කරමින් ප්‍රථම ස්‌ථානය දිනා ගැනීමට සමත් වූවාය. නිමාලි සිය තරගය මී. 2.07.08 කින් නිම කොට ඇත.

මීට අමතරව කසුන් කල්හාර සෙනවිරත්න මෙවර මීටර 400 ත.47.14 කින් නිම කොට බැංකොක්‌ අදියරට වඩා තවත් පියවරක්‌ ඉදිරියට තබමින් දෙවැනි ස්‌ථාන දිනා ගැනීමද කැපී පෙනුනි. කසුන් පළමු අදියර ත. 47.18 කින් නිමකොට තෙවැනි ස්‌ථානය දිනා ගනු ලැබුවද හෙතෙම ඊයේ සිය ඉසවුවෙන් (කාලයෙන් සහ ජයග්‍රාහී ස්‌ථානයෙන් වර්ධනයක්‌ පෙන්නුම් කරමින්) දෙවැනි ස්‌ථානයට පත්විය.

මීටර 800 කාන්තා ඉසවුවට නිමාලි සමග සහභාගි වූ ශානිකා සමන්මලීද ඊයේ දැක්‌වූ දක්‍ෂතාව මත තෙවැනි ස්‌ථානය දිනා ගත්තාය. ඇයගේ තරග නිමාව මි.2.07.58 කි. සමන්මලි ශූරතාවේ ප්‍රථම අදියරේදී 5වැනි ස්‌ථානයට පත්වූ අතර එවර ඇයගේ තරග නිමාව මි. 2.08.18 කි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 22 දෙදෙනකුගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්‌ඩායමේ සාමාජිකත්වය අතරින් දැනට අවසන් වී ඇති අදියර දෙකේදීම ප්‍රථම ස්‌ථාන ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාව ලෙස නදීකා ලක්‌මාලි ඉදිරියට පැමිණ සිටින්නීය. ඇය ඊයේ තරගය නිමකළ දුර ප්‍රමාණය (මීටර 55.99) ගියවර තරග නිමාවට වඩා (මීටර 56.83) අඩුවීමක්‌ ද පෙන්නුම් කොට ඇත. නදීකා ලක්‌මාලි මේ වන විට දිනා ඇති ප්‍රථම ස්‌ථාන දෙක වෙනුවෙන් හිමිකරගත් ප්‍රසාද දීමනාව ඇමෙරිකානු ඩොලර් 2000 කි.

ශ්‍රී ලංකාව මහත් බලාපොරොත්තු තැබූ ප්‍රබල ක්‍රීඩිකාවක වන චන්ද්‍රිකා සුභාෂිණී රෝගාතුරවීම නිසා ඊයේ සිය ඉසවුවට සහභාගි නොවූ බව වාර්තා වෙයි. ඊට අමතරව අදියරේදී මීටර 5000 ඉසවුවෙන් තුන්වැනි ස්‌ථානය දිනූ ලයනල් සමරජීවට මෙවර ජයග්‍රාහි ස්‌ථානයක්‌ හිමි නොවීමද කැපී පෙනුණි.

මේ අතර 2013 ආසියානු ග්‍රොන්ප්‍රී මලල ක්‍රීඩා ශූරතාවේ අදියර 2ක්‌ තායිලන්තයේදී අවසන් කළ රටවල් 22 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කොළඹ අදියරට සහභාගිවීම සඳහා අද (9 දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. - divaina

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews